අවුරුදු බෝනස් නොදීමට එරෙහි ව වෝග් ටෙක්ස් ඇඟලුම් කම්හල් කම්කරුවෝ විරෝධතා දක්වති

වෝග් ටෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලා ජාලයට අයත් වැලිගම සහ ගෝනාපීනුවල කම්හල්වල කලමනාකාරිත්වයන් විසින් මෙවර සිංහල-හින්දු අලුත් අවුරුදු පාරිතෝෂික දීමනාව ලබා නොදීමට එරෙහි ව ඒවායේ කම්කරුවෝ අරගලයට පිවිස සිටිති. විරෝධතා පුපුරා යත්ම, අප්‍රේල් 22 දා තෙක් කම්හල් වසා දැමූ කලමනාකාරිත්වයන්, මාසික වැටුප පමනක් කම්කරුවන්ගේ ගිනුම් වලට බැරකර ඇත.

ගෝනාපීනුවල වෝග් ටෙක්ස් ඇඟලුම් කම්හල වසා දමා ඇති ආකාරය

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා එක්සත් ජනපදය පනවා ඇති නව තීරුබදු හේතුවෙන්, මෙවර අලුත් අවුරුදු පාරිතෝෂික දීමනාව ලබාදිය නොහැකි බව, එම කම්හල් කලමනාකාරිත්වයන් විසින්, අප්‍රේල් 08 දා ප්‍රකාශ කිරීමත් සමග මෙම විරෝධතා පැන නැගී ඇත.

තීන්දුව දැනගැනීමත් සමග කම්හලේ සියලු වැඩ ඇනහිට වූ වැලිගම කම්හලේ කම්කරුවෝ, කලමනාකාරිත්ව කාර්යාලය වටලා, “මෙවර බෝනස් ගෙවන්නේ, නව තීරුබදු අය කිරීමට පෙර, පසුගිය වසරේ උපයාගත් ලාභ වලින්” බැවින්, බෝනස් නොගෙවීම සාධාරනීකරනය කිරීමට නව තීරුබදු ගෙනහැර පෑම, “අතාර්කික” සහ “අසාධාරන” බව කලමනාකාරිත්වයට පැවසූහ. “වහාම බෝනස් ලබාදෙනු” යැයි ඉල්ලා සටන්පාඨ කියමින් ඔවුහු විරෝධතා දැක්වූහ. කලමනාකාරිත්වය එය මැඩීමට පොලීසිය ගෙන්වූ නමුත්, රාත්‍රිය ගෙවී පසු දා පහන්වන තෙක් එම විරෝධතා ඇදී ගියේ‍ ය.

විරෝධතාවයේ යෙදී සිටි වැලිගම කම්කරුවන්ගේ ප්‍රකාශයන් අඩංගු වීඩියෝවක් ඩේලිමිරර් පුවත්පත මුදාහැර තිබුනි. ඔවුනට අනුව, 08 දා උදේ වන තෙක් කලමනාකාරිත්වය කම්කරුවන්ට කියා ඇත්තේ බෝනස් ලබාදෙන බවයි. තමන් නිෂ්පාදනය කරන “එක ඇඟලුම් පැකට්ටුවකින් දහදෙනෙකුට පඩි ගෙවිය හැකි” බව පැවසූ එක් කම්කරු කාන්තාවක්, කම්හලේ ශ්‍රම සූරාකෑමේ පරිමාව කෝපයෙන් විස්තර කලාය. බෝනස් නොගෙවීම සහ අවම වැටුපකට කෙරෙන සූරා කෑම සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතැකීම ගැන තම කෝපය ප්‍රකාශයට පත් කරමින්, “ජනාධිපතිතුමා මොනවද කරන්නේ” යැයි ප්‍රශ්න කලා ය.

සමාජ මාධ්‍ය තුල සංසරනය වන තවත් වීඩියෝවක පෙනී සිටින එම කම්හලේ තවත් කම්කරු කාන්තාවක් කියා සිටින්නේ, රුපියල් 35,000 - 40,000 ක් වන සොච්චම් මාසික වැටුපකට සේවයේ යෙදෙන ඔවුන්ගේ වැඩ ඉසිලිය නොහැකි මට්ටම් වලට වේගවත්කර ඇතිබවයි. ජීවන වියදම අහස උසට නැගඇති තතු යටතේ, තම දරුපවුල් සමග අලුත් අවුරුද්ද “සුලුවට හෝ සැමරීමට” තිබූ බලාපොරොත්තුව බෝනස් නොදීමත් සමග බිඳ වැ‌ටී ඇති බව ඇය පවසයි.

08 දා උදේ මෙම තීරනය දැනගත්, ගෝනාපීනුවල කම්හලේ 850 ක් පමන වන කම්කරු බලකාය අතර ද නොසන්සුන්තාවය වර්ධනය වූ බව ගෝනාපීනුවල කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

සියලු දීමනා සමග තම මාසික වැටුප රුපියල් 36,000 ක් පමන වන බවත්, තමා සහ බිරිඳ සහ බිරිඳගේ මව මෙම වැටුපෙන් ජීවත්වන බවත් එලැඹෙන සිංහල අවුරුද්ද වෙනුවෙන් කර ගැනීමට බලාපොරොත්තු වූ බොහෝ දෑ බෝනස් මුදල අහිමි වීම නිසා සිදු කිරීමට නොහැකි බවත් ඔහු කීවේ ය.

“අද කම්කරුවො කොටසක් ගාල්ල කම්කරු කාර්යාලයට යනවා කිව්ව මේක පැමිනිලි කරන්න. පැමිනිල්ල විභාග කරල අපට මේක ලැබෙනකම් අවුරුද්දට වියදම් කරන්න අපට සල්ලි කොහෙන්ද? මේක අන්තිම අසාධාරන වැඩක්. මම මේ ෆැක්ටරියේ අවුරුදු පහක් විතර වැඩ කරනවා. අවසානයේ දී ෆැක්ටරිය අපට සලකන්නේ මේ විදියට”

සියලු දීමනා සහිත ඔහුගේ මුලු මාසික වැටුප රුපියල් 36000 කි. “ඒකෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ. ෆැක්ටරිය විසි දෙ වෙනි දා විවෘත කරනවයි කිව්වට මට නං ඒක හුඟක් සැකයි. මමත් හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් අනෙත් කම්කරුවන් අතර සාකච්ඡා කරන්න ඕන කියල.”

වෝග් ටෙක්ස් ජාලයට අයත් කම්හල්, වැලිගම, කොග්ගල, ගෝනාපීනුවල සහ කොහුවල ඇතුලු ප්‍රදේශ ගනනාවක ක්‍රියාත්මක වෙයි. ජාලයේ සමස්ත සේවක සංඛ්‍යාව 35,000 ක් පමන වන බව වාර්තාවේ.

වැලිගම වෝග් ටෙක්ස් කර්මාන්තශාලාව තුල සේවයේ නියුතු කම්කරුවෝ [Photo: වෝග් ටෙක්ස් වැලිගම ෆේස්බුක්]

ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ ලෝක වෙලඳපොල හැකිලී යාමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇගලුම් කම්හල් වේගයෙන් වැසී යමින් පවතී. එහි කොටසක් ලෙස, කොග්ගල පිහිටා තිබූ වෝග් ටෙක්ස් ඇගලුම් කර්මාන්ත ශාලාව දැනට මාස එක හමාරකට පෙර වසා දමා එහි සිටි සේවකයන්ගෙන් කොටසක් ගෝනාපීනුවලට ද අනෙක් කොටස වැලිගමට ද අනුයුක්ත කොට ඇත. අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි වෝටෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ද ටික කලකට පෙර දී වසා දමා තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, චීනයට එරෙහි ව පනවා ඇති බදු තවත් ඉහල දමමින්, ලොව අනෙකුත් රටවලට එරෙහි ව පනවා ඇති තීරු බදු දින 90 කට අත්හිටුවා ඇති නමුත්, එක්සත් ජනපද‌ය මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ, එය නැවත ක්‍රියාත්මක කිරීමේ සෑම ඉඩකඩක්ම පවතී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා එක්සත් ජනපදය අය කරන තීරු බද්ද සියයට 44 ක් වේ. එක්සත් ජනපදය, තනි රටක් ලෙස සැලකූ විට, ශ්‍රී ලංකාවේ විශාලත ම අපනයන ගමනාන්තය යි. එයට කෙරෙන අපනයනය, රටෙහි සමස්ත අපනයනයෙන් සියයට 25 ක් වන අතර, රටෙහි සමස්ත වාර්ෂික අපනයන ආදායම වන ඩොලර් බිලියන 18 න් බිලියන 3 ක්ම උපයාගනු ලබන්නේ එක්සත් ජනපදයට කරන අපනයනයන්ගෙනි.

එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනයෙන් පමනක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5 ක් උපයා ගනී. නව තීරුබදු හේතුවෙන් එම ආදායම ඩොලර් මිලියන 600 කින් වාර්ෂිකව අඩුවන බව ඇඟලුම් ක්ෂේත්‍රයේ අභ්‍යන්තරිකයන් විසින් ගනන් බලා ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු කම්කරුවන් 350,000 ක රැකියාවන් කෙරෙහි එය ඍජු ව ම බලපානු ඇත. පිරිවැය සියයට 40 කින් අඩු කරන ලෙස, ඇඟලුම් සමාගම්, දැනටමත් උප කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා ඇති අතර, ඉදිරියේ දී සිදු විය හැකි දැවැන්ත දොට්ට දැමීම්, වැටුප් කප්පාදු සහ වැඩ වේගවත් කිරීම සම්බන්ධයෙන් එයමත් සංඥාවකි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum - JAAF) වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එහි මහ ලේකම් යොහාන් ලෝරන්ස් කියා සිටින්නේ, “අපගේ කලාපීය තරඟකරුවන්ට සාපේක්ෂ ව මෙම තීරුබදු මට්ටම අතිශයින් ඉහල” බවයි.

“බදු ක්‍රියාත්මක වීමත් සමඟ, බලපෑම වේගවත් හා දරුනු වනු ඇත. අප රට තුල ඇති එක්සත් ජනපද ව්‍යාපාරවලින් වැඩි ප්‍රමානයක් තරඟකාරී වෙලඳපොලවල් වෙත සංක්‍රමනය වනු අපට දැක ගත හැකි” වෙතැයි ලෝරන්ස් තවදුරටත් පැවසී ය.

එනම්, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද ආයෝජන ඉවත් කර ගනිමින් ඒවා, බංග්ලාදේශය, වියට්නාමය ආදී රටවලට යොමු කෙරෙනු ඇත. ප්‍රතිඵලය වනු ඇත්තේ දසදහස් සංඛ්‍යාත රැකියා විනාශය, වැටුප් සහ දීමනා කප්පාදුව මෙන්ම දැවැන්ත ව වැඩ වේගවත් කිරීමයි.

ට්‍රම්ප්ගේ තීරු බදු වලට එකට එක කිරීමක් ලෙස, චීනය, කැනඩාව සහ යුරෝපය දැනටමත් එක්සත් ජනපද ආනයන සඳහා වන තීරු බද්ද ඉහල නංවා ඇත. මෙම සමස්ත ලෝකය පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා කෙරෙහි දැවැන්ත ව බලපානු ඇත.

මෙය, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ජාතික ජන බලවේගය/ ජනතා විමුක්ති පෙරමුන (ජාජබ/ජවිපෙ) ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු අකුරටම ක්‍රියාවේ යොදවමින් ගෙන යන රැකියා විනාශය සමග ඒකාබද්ධ වනු ඇත. ජාමූඅ කප්පාදු යටතේ රාජ‍්‍ය ව්‍යවසායන් 400 කට වැඩි ප්‍රමානයක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහකරනයට නියමිතය. එය ඒවායේ සේවයේ නියුතු 500,000 ක රැකියා දංගෙඩියේ තැබීමකි.

මෙම ප්‍රහාර වලට එරෙහි ව ඒකාබද්ධ ව සටන් කිරීම සඳහා කම්කරු පංතිය, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරි කමිටු සෑම කම්හලක ම, වැඩබිමක ම සහ නිවස්නා ප්‍රදේශයක ම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය ය.

මෙම ප්‍රහාර වලට ජාතිකවාදී හෝ ධනේශ්වර විසඳුම් නොමැත. ලෝක ධනවාදයේ ගැඹුරු අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, ලෝක කම්කරු පංතිය ස්වාධීන ව බලමුලු ගැන්වී ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකින් පමනි. ඒ සඳහා පදනම ලෙස, සමාජවාදී සමානතා පක්ෂය තම ජාත්‍යන්තර සහෝදර ශාඛාවන් සමග එක්ව කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමට සටන් වදී.