ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ආර්ථික හා හමුදා සබඳතා වැඩිදියුනු කරයි

[මෙය Indian PM’s visit to Sri Lanka boosts economic and military ties මැයෙන් 2025 අප්‍රේල් 11 වැනි දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

‍එක්සත් ජනපදය, චීනය සමඟ සිය ආර්ථික සහ මිලිටරි ගැටුම උත්සන්න කරන විට, වොෂිංටනයේ මූලෝපායික සහකරුවෙකු වන ඉන්දියාවට, තම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) රජයේ පූර්න සහයෝගය ලබාදීම පිලිබඳ ව ජනාධිපති අනුර කුමාර දිසානායක මෝදිට සහතික විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ [Photo: X/Anura Kumara Dissanayake]

සැප්තැම්බර් මාසයේ දී දිසානායක බලයට පත් වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිනි පලමු විදේශ නායකයා මෝදි ය. දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නවදිල්ලියට ඔහුගේ පලමු විදේශ සංචාරය කලේ ය.

දක්ෂිනාංශික හින්දු ස්වෝත්තමවාදී මෝදි ශ්‍රී ලංකාවේ දී උත්සවාකාරයෙන් පිලිගන්නා ලදී. නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ ගෞරවනීය වෙඩි මුර 21 ක උත්තමාචාරයක් සහ චාරිත්‍රානුකූල සම්මාන පල පාලියක් සමඟින් රතු පලස මතින් ඔහු පිලිගැනුනි. විදේශ සම්භාවනීය අමුත්තන් සඳහා ශ්‍රී ලංකාවේ ඉහල ම සිවිල් ගෞරවය වන මිත්‍ර විභූෂන සම්මානය දිසානායක මෝදි වෙත ප්‍රදානය කලේ ය.

ඉහල පෙලේ ඉන්දීය දූත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුලත් වුහ.

ආරක්ෂක, බලශක්ති, ඩිජිටල් යටිතල පහසුකම්, සෞඛ්‍ය සහ වෙලඳාම යන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ගිවිසුම් හතක් අත්සන් කරන ලදී.අනෙකුත් අවබෝධතා ගිවිසුම්, දිවයිනේ ඩිජිටල් පරිවර්තනය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ සංවර්ධනය සඳහා අරමුදල් සහ සෞඛ්‍ය සහයෝගීතාවය සඳහා ඉන්දියානු සහාය ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලදි.

1966 දී එය පිහිටුවන ලද දා පටන් ජවිපෙ ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදයේ ගිලී පැවතුනි. එහි ලිපි ලේඛන මගින් ලක්ෂ සංඛ්‍යාත දෙමල කතා කරන වතු කම්කරුවන් “ඉන්දියානු ව්‍යාප්තිවාදයේ” ඒජන්තයන් ලෙස හංවඩු ගසා ඇත.

1980 ගනන්වල දී, කොලඹ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ගෙන ගිය වාර්ගික යුද්ධයට ජවිපෙ උපරිමයෙන් සහාය දැක්වීය. එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා දිවයිනේ උතුරට ඉන්දීය සාම සාධක හමුදා ගොඩබැස්සූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම, ජාතිය බෙදූ පාවාදීමක් ලෙස හෙලා දුටු අතර එයට එරෙහි ව ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් දියත් කරන ලදි. එහි නියෝග නොසලකා හැරි දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් සහ තරුනයින් මරා දැමීය.

පසුගිය දශක තුන තුල, මූලික ජාත්‍යන්තර වෙනස්කම් - ගෝලීයකරනය සහ සෝවියට් සංගමය විසුරුවා හැරීම - මධ්‍යයේ ජවිපෙ ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් ලෙස පරිනාමය වී ඇත. එය ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ සමීප සබඳතා වර්ධනය කර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) දැඩි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මහා ව්‍යාපාරිකයට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට පොරොන්දු වෙමින් ජවිපෙ/ජාජබ පසුගිය වසරේ බලයට පත් විය.

පිලිගැනීමේ උත්සවයේ දී දිසානායක, කලාපීය බලවතෙකු ලෙස නොව, “ලෝක බලවතෙකු” ලෙස ඉන්දියාවේ නැගීම අගය කලේ ය. “ඉන්දියාවේ ආරක්ෂාව අඩපන කිරීම සඳහා ශ්‍රී ලංකා භූමිය කිසිවෙකුට භාවිතා කිරීමට ඉඩ නොදෙන බව අපගේ ස්ථාවරය බව මම අගමැති මෝදිට නැවත අවධාරනය කලෙමි” යයි ඔහු පැවසී ය.

“අපගේ ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට ගැලපී ඇති බව අපි විශ්වාස කරමු... අපගේ ආරක්ෂාව එකිනෙකා මත රඳා පවතින අතර අන්තර් සම්බන්ධිතය” යයි පවසමින් මෝදි ඊට උද්යෝගයෙන් ප්‍රතිචාර දැක්වීය. ඉන්දියාවේ ජාතික අවශ්‍යතා කෙරෙහි දිසානායක දක්වන සංවේදීතාවයට ඔහු ස්තූති කලේ ය.

2023 ජූලි මාසයේ දී ඉන්දියාවට ගොස් ආර්ථික හා මූලෝපායික සබඳතා ශක්තිමත් කරමින් “ඒකාබද්ධ දැක්ම” ගිවිසුමක් අත්සන් කල තම පූර්වගාමියා වූ කුප්‍රකට එක්සත් ජනපද ඒජන්තයකු වන රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රතිපත්තිය ම දිසානායක ඉදිරියට ගෙන යයි.

මූලික පියවරක් ලෙස, මෝදි සහ දිසානායක සමුද්‍රීය ආරක්ෂාව සහ ත්‍රස්ත විරෝධී උත්සාහයන් වැඩි දියුනු කිරීම අරමුනු කරගත් ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කලහ . ඉන්දියානු සාගරය තුල චීනයේ බලපෑම අවහිර කිරීම අරමුනු කරගත් මෙම ගිවිසුමට ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස, බුද්ධි තොරතුරු බෙදාගැනීම, පුහුනුව,හැකියාවන් ගොඩනැගීමේ මුලපිරීම් සහ ඉහල මට්ටමේ හුවමාරු ඇතුලත් වේ.

මෝදි සහ දිසානායක අතර ඉහල මට්ටමේ සාකච්ඡාවලින් පසු අත්සන් කරන ලද පස් අවුරුදු ආරක්ෂක සහයෝගීතා ගිවිසුම, තව වසර තුනකට දිගු කල හැක. එය දෙරට අතර පලමු විධිමත් ආරක්ෂක ගිවිසුම වන අතර 1987 ගිවිසුමට වඩා බොහෝ බලපෑම් සහිත ය.

කොලඹ ආරක්ෂක සමුලුව (සීඑස්සී) සහ ඉන්දියන් සාගරයේ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් එක් ව කටයුතු කිරීමට දෙරට එකඟ විය. 2024 අගෝස්තු මාසයේදී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ගේ කොලඹ සංචාරය අතරතුර සීඑස්සී දියත් කරන ලදී. ගිවිසුමට අත්සන් තැබූ රටවල් වන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, මොරිෂස් සහ මාලදිවයිනයි.

තවත් ප්‍රධාන ගිවිසුමකට දකුනු ඉන්දියාවේ නව මදුරෙයි සහ ශ්‍රී ලංකාවේ මන්නාරම අතර කිලෝමීටර් 285 ක අධි වෝල්ටීයතා සම්බන්ධතාවයක් ගොඩනැගීම ඇතුලත් වන අතර එමඟින් විදුලිය බෙදාගැනීමට පහසුකම් සැලසේ. මෙම සම්බන්ධතාවයට පෝක් සමුද්‍ර සන්ධියට යටින් ගමන් කරන කිලෝමීටර් 50 ක සබ්මැරීන් කේබල් ඇතුලත් වන අතර එය 2030 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 340–430 ක වියදමින් අවසන් කිරීමට නියමිත ය.

නවදිල්ලිය සහ කොලඹ බලශක්ති සහයෝගීතාව තවදුරටත් වැඩිදියුනු කිරීමට එකඟ විය. ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (එන්ටීපීසී) සහ ශ්‍රී ලංකාවේ ලංකා විදුලිබල මන්ඩලය (විබම) අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මෝදි සහ දිසානායක විසින් ආරම්භ කරන ලදහ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ මූලෝපායික වරාය නගරයක් වන ත්‍රිකුනාමලයේ බලශක්ති මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවත් ගිවිසුමක් අත්සන් කලහ. මෙම ව්‍යාපෘතියට බහු නිෂ්පාදන නල මාර්ගයක් ඉදිකිරීම ඇතුලත් වන අතර දැන් පාර්ශවීය වශයෙන් ඉන්දියානු තෙල් සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලබන දෙවන ලෝක යුධ සමයේ ඉදිකල තෙල් ටැංකි පද්ධතිය පාවිච්චි කිරීම ද එයට අයත් වේ.

බ්‍රිතාන්‍යයන් විසින් මූලෝපායික අරමුනු සඳහා 20 වන සියවසේ මුල් භාගයේ දී ඉදිකරන ලද මෙම තෙල් ටැංකි පද්ධතිය, ලොව දෙවන ගැඹුරු ම ස්වාභාවික වරාය වන ත්‍රිකුනාමල වරායට යාබද ව පිහිටා ඇති අතර එය වැදගත් භූ-උපායමාර්ගික සම්පතක් ලෙස සැලකේ.

මෙම ගනුදෙනුව මගින් ත්‍රිකුනාමලය සහ අවට ප්‍රදේශයේ ඉන්දියානු බලපෑම වැඩි දියුනු කරනු ඇති අතර එය වරාය සහ සැපයුම් පහසුකම් සහිත කාර්මික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. උතුරේ කන්කසන්තුරෙයි හි අනෙකුත් වරාය පහසුකම් ඉදිකරනු ලැබේ.

දිසානායක ආන්ඩුව මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බුදය ගැන හොඳින් දන්නා මෝදි, කොලඹ දේශපාලන සංස්ථාපිතය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ අරමුනින් සංකේතාත්මක අභිනයන් කිහිපයක් සිදු කරන ලදි. විදේශිය නය දෙන්නන් සමඟ ශ්‍රී ලංකාවේ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස ඉන්දියාවට තිබෙන ශ්‍රී ලංකාවේ නයෙන් ඩොලර් මිලියන 100 කට වඩා ප්‍රදානයන් බවට පරිවර්තනය කිරීම ඔහු නිවේදනය කලේ ය.

මෝදි, ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක් වන අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියට ද . වන්දනාමාන කලේ ය. දිවයිනේ පලාත් නවය සහ දිස්ත්‍රික්ක 25 පුරා ආගමික ආයතන 5,000 කට සූර්ය බල පද්ධති සැපයීම ද ඔහු නිවේදනය කලේ ය.

මෝදිගේ සංචාරය සිදු වූයේ, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සෑම රටකටම “අන්‍යෝන්‍ය” තීරු බදු පුළුල් කරන බව නිවේදනය කිරීමත් සමඟ ය. එය, විශේෂයෙන් චීනය සමඟ වෙලඳ යුද්ධයක් අවුලවමින් ශ්‍රී ලංකාව මත විශාල සියයට 44 ක සහ ඉන්දියාව මත සියයට 27 ක තීරු බදු පැනවිය. මෙම සතියේ දී බොහෝ රටවලට පැන වූ තීරු බදු දින 90 ක් සඳහා ට්‍රම්ප් අත්හිට වූ අතර, ඔහු චීනය සමඟ තීරු බදු යුද්ධය සියයට 125 දක්වා නාටකාකාර ලෙස තීව්‍ර කිරීම පැහැදිලි කරන්නේ චීනය ඔහුගේ පරිපාලනයේ ආර්ථික යුද්ධයේ කේන්ද්‍රීය ඉලක්කය බවත් සහ මිලිටරි ගැටුම සඳහා ඉහල මට්ටමක සූදානම් වීමක් සිදු වන බවත් ය. මේ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කොටස් කරුවන් කර ගෙන ඇත.