[මෙය IMF delegation praises Sri Lankan government’s austerity measures යන මැයෙන් 2026 අප්‍රේල් 07 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමනශීලී යුද්ධය හේතුවෙන් ඇවිල ගිය ගැඹුරු වන ගෝලීය අර්බුදය මධ්‍යයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රයට ආන්ඩුවේ අඛන්ඩ අනුගතිය සහතික කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මාර්තු අග සිට අප්‍රේල් මුල දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.
IMF දූත කන්ඩායම, අප්‍රේල් 9 වන දින පැවැත්වෙන, ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන “ඵලදායීතා තක්සේරුවක්” සමඟ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය, විස්තීර්න අරමුදල් පහසුකමේ (EFF) වාරික දෙකකින් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් පමන ගෙවීමට ඉඩ සලසයි. මෙම අනුමැතිය, අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව මත පටවන IMF නියෝගවලට ආන්ඩුව දැඩි ලෙස අනුගත වන බවට පැහැදිලි ඇඟවුමකි.
“ශ්‍රී ලංකාවේ අඛන්ඩ ආර්ථික ප්‍රතිසංස්කරන වැඩසටහන සහ ප්‍රගතිය” පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා IMF නියෝජිත පිරිස අප්‍රේල් 2 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. ජනාධිපතිවරයා ද, සෑම අතින් ම, 2023 දී ඩොලර් බිලියන 3 ක IMF හදිසි නයක් පිලිබඳ සාකච්ඡා කල ඔහුගේ පූර්වගාමියා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරම් ම නිර්දය බව ඔප්පු කර ඇත. උද්ධමනය ඉහල යාම සහ ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් මහජන විරෝධතා සහ වැඩ වර්ජන මතු කල උග්‍ර විදේශ විනිමය අර්බුදයක් මධ්‍යයේ 2022 දී රට විදේශ නය පැහැර හැරියේ ය.
“වර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආදායම් කලමනාකරනය වැඩිදියුනු කිරීම සහ විදේශ සංචිත ශක්තිමත් කිරීම තුලින් රට වඩාත් ශක්තිමත් පදනමක් කරා සංක්‍රමනය වී ඇති” බව සඳහන් කරමින්, IMF, ජනාධිපති දිසානායකට ප්‍රශංසා කලේ ය.
ඉරාන යුද්ධය ගැන සඳහන් කරමින්, ඉන්ධන මිල ගනන් සහ බලශක්ති ක්ෂේත්‍රය මත වැඩි වන පීඩන ආමන්ත්‍රනය කිරීමට ගත් පියවර ඇතුලු ව, “තත්වය විචක්ෂනශීලී ව කලමනාකරනය කිරීම” සම්බන්ධයෙන් නියෝජිත පිරිස ආන්ඩුවට ප්‍රශංසා කලහ. ඊට ප්‍රතිචාර වශයෙන්, තමා මූල්‍ය ප්‍රාග්ධනයේ කීකරු සේවකයෙකු බව ඔප්පු කරමින්, දිසානායක, “ශ්‍රී ලංකාව, මෙම වැඩසටහන යටතේ නියම කර තිබූ සියලු ඉලක්ක සපුරා ඇති ඉවටත්, සාපේක්ෂ වශයෙන් ස්ථාවර තත්වයකට ලඟා වී ඇති බවටත්” පුරසාරම් දෙඩී ය.
IMF ප්‍රශංසාවෙන් තහවුරු වන්නේ, පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ), ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් අකුරට ම ක්‍රියාත්මක කරන බවයි. ලංකා විදුලිබල මන්ඩලය (CEB) ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 400 ක් පමන ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය කිරීම, නය ආපසු ගෙවීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, වෙලඳපොල මත පදනම් වූ විනිමය අනුපාත ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ මිල-පිරිවැය ප්‍රතිසංස්කරනය ක්‍රියාත්මක කිරීම—එනම්, බලශක්ති සහ උපයෝගිතා සඳහා මිල සහනාධාර අඩු කිරීම හෝ ඉවත් කිරීම—මෙම පියවරයන්ට ඇතුලත් වේ.
පසුගිය දෙසැම්බරයේ දී පුද්ගලයින් 1,000 ක් පමන මිය ගොස් රටේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට ඩොලර් බිලියන 4-5 ක හානියක් සිදු කල විනාශකාරී ඩිට්වා සුලි කුනාටුව මධ්‍යයේ පවා, දිසානායක කිසි විටෙකත් IMF විසින් නියම කරන ලද පියවර ලිහිල් නොකල බව IMF කන්ඩායම පැහැදිලි ව පෙන්වා දුන්නේ ය. දස දහස් ගනනක් ජනතාව තවමත් වන්දි සහ නිසි නිවාස ලබා ගැනීමට අරගල කරමින් සිටින අතර, එමගින් රටේ දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන දෙකකට අධික ජනතාවක් සෘජු ව ම පීඩාවට පත් විය.
එම ඛේදවාචකය, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මධ්‍යයේ, IMF සංචාරයට පෙර, මාර්තු 26 වන දින, දිසානායක ඉන්ධන මිල සියයට 26-30 කින් තියුනු ලෙස ඉහල දැමීමෙන් වැලැක්වූයේ නැත. අප්‍රේල් 5 වන දින IMF කන්ඩායම සමඟ දිසානායක සාකච්ඡා පවත්වන විට, එහි මෙහෙයුම්කරුවන් දෙදෙනා—එනම්, රාජ්‍ය සහ පෞද්ගලික සමාගම්—විසින් පිහුම් ගෑස් මිල පිලිවෙලින් සියයට 20 සහ 23 කින් දැවැන්ත ලෙස ඉහල නංවන ලදී. අප්‍රේල් 1 වන දින සිට, සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තු දල වශයෙන් සියයට 8 කින් වැඩි කරන ලද අතර, පසුව සියලු ම ආහාර සහ සේවා සඳහා මිල වැඩි කිරීම් සිදු කරන ලදී.
ඉරානයට එරෙහි යුද්ධය තීව්‍ර වන විට, ඉහල යන ගෝලීය බලශක්ති මිල ගනන් සහ මූල්‍ය අස්ථාවරත්වය ශ්‍රී ලංකාව වැනි නය ගැති රටවල් මත විශාල පීඩනයක් එල්ල කරයි. විදේශගත කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂන අඩුවීම මෙන් ම, මැද පෙරදිගට සම්බන්ධ සංචාරකයින් සහ අපනයන අහිමි වීම ද රට හමුවේ පවතී. ඊට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර නය හිමියන් සහ ආයෝජකයින් සහතික කිරීම සඳහා IMF දැඩි මූල්‍ය විනයක් ඉල්ලා සිටී.
එමගින් නය හිමියන් ආරක්ෂා කෙරෙනු ඇතත්, ඒ සඳහා ගෙවීමට සිදුවන සමාජ පිරිවැය දැඩි ය. ප්‍රාථමික අයවැය අතිරික්තයන් සඳහා වන අවධාරනයට රාජ්‍ය සේවා සහ සහනාධාරවල අඛන්ඩ කප්පාදුව අවශ්‍ය වේ. උද්ධමනය, විරැකියාව සහ දරිද්‍රතාවය ඉහල මට්ටමක පැවතුන ද, 2026 දී දැඩි වියදම් සීමාවන් පවත්වා ගන්නා බව ආන්ඩුව තහවුරු කර තිබේ. රටේ ජනගහනයෙන් හතරෙන් එකක් දැනටමත් දරිද්‍රතා රේඛාවට පහලින් සිටින අතර තවත් සියයට 10 ක් ඊට යන්තම් ඉහලින් සිටිති.
“ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” සඳහා IMF හි තල්ලුව මෙම න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යයි. රාජ්‍ය මූල්‍ය කලමනාකරන පනත සහ බැංකු අංශයේ ප්‍රාග්ධනීකරනය වැනි පියවර නයහිමියන්ගේ සහ ආයෝජකයින්ගේ අවශ්‍යතා සඳහා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් නිර්මානය කර ඇත. මෙම ප්‍රතිපත්ති පුද්ගලීකරනය, නියාමනය ඉවත් කිරීම සහ විශාල සමාගම් සඳහා ලාභ ඉපැයීමේ අවස්ථා පුලුල් කිරීම ප්‍රවර්ධනය කරයි. එහෙත් මේවා බොහෝ දුරට, සංගත බදු සහන, ආයෝජන දිරිගැන්වීම් හෝ මූල්‍ය ආරක්ෂන ස්පර්ශ නොකරයි.
අවදානම් කලාපයේ සිටින කන්ඩායම් සඳහා වන “අස්වැසුම” සුභසාධන වැඩසටහන වැනි ආන්ඩුවේ “ඉලක්කගත සහන” ප්‍රෝඩාකාරී වේ. මෙම ආධාර, සීමිත සහ කොන්දේසි සහිත වන අතර යන්තම් දිවි ගැටගසා ගැනීමටවත් ප්‍රමානවත් නොවේ. ඒවයේ ප්‍රධාන අරමුන දරිද්‍රතාවය හෝ අසමානතාවයට පිලයම් යෙදීම නොව, සමාජ නොසන්සුන්තාව පාලනය කිරීමයි. සමස්ත අරමුන වන්නේ, රාජ්‍ය ආධාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව අඩු කිරීමයි.
IMF හි ප්‍රශංසාවට ලක් වූ ප්‍රධාන ප්‍රමුඛතාවයක් නම්, ආනයන සීමා කිරීමෙන් සහ උද්ධමනය තවදුරටත් ඉහල නැංවීමෙන්, දැනට ඩොලර් බිලියන 6.8 ක් පමන වන විදේශ සංචිත නැවත ගොඩනැගීමයි. ශ්‍රී ලංකාව සඳහා IMF හි ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 3.1 ක් පමන වේ—එය 2024 දී පැවති සියයට 5 ට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි—එය අඛන්ඩ ආර්ථික එක තැන පල්වීමක් පිලිබිඹු කරයි.
විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති නායකයින් ඇතුලු ව සමස්ත දේශපාලන සංස්ථාපිතය ම, වැඩ කරන ජනතාවගේ සමාජ තත්වයන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කරන IMF වැඩසටහනට සහාය දක්වයි. අප්‍රේල් 1 වන දින, මිල අඩු කිරීම සඳහා ඉන්ධන මත බදු ඉවත් කරන ලෙස විපක්ෂයේ පක්ෂ ආන්ඩුවෙන් සංකේත ආයාචනයක් ඉදිරිපත් කලේ ය. පෙර අවස්ථාවන්ට වෙනස් ලෙස, මෙවර, එහි කප්පාදු ඉල්ලීම්වලින් ඈත් වීමට දරන නරුම උත්සාහයක් ලෙස, විපක්ෂයේ සමගි ජන බලවේග (සජබ) නායක සජිත් ප්‍රේමදාස, IMF නියෝජිත පිරිස හමුවීමට නොගියේ ය.
එක ම ශක්‍ය විකල්පය වන්නේ, IMF හි කප්පාදු න්‍යාය පත්‍රයට සහාය දෙන ධනේශ්වර පක්ෂ සහ ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. වෘත්තීය සමිතිවලින් බිඳී, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා සටන් කිරීම සඳහා සේවා ස්ථානවල සහ අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙසත්, සියලු ආකාරවල පුද්ගලීකරනයන්ට විරුද්ධ වන ලෙස සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, බැංකු සහ මහා ව්‍යාපාර කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු.
