සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය නතර කරනු!

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ ව හැටන් හි පවත්වන වැදගත් ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙස වතුකම්කරුවන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ අනෙකුත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම යුද්ධය දුරස්ථ “කලාපීය” ආරවුලක් නොවේ. එය, ධනේශ්වර බිඳවැටීමේ කාල පරිච්ඡේදයක දී, බලශක්ති සම්පත්වල පාලනය අල්ලා ගැනීමට සහ තම ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කිරීමට, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ඊශ්‍රායල සහචරයාගේ සහාය ඇති ව එල්ල කරන කොල්ලකාරී ප්‍රහාරයකි. ඉරානයට පහර දීම, එහි ප්‍රතිවාදීන්ගේ, විශේෂයෙන් ම චීනයේ සහ රුසියාවේ වියදමින් මැද පෙරදිග තම ආධිපත්‍යය ස්ථාපිත කිරීමේ එක්සත් ජනපද ධාවනයේ කොටසකි. වොෂින්ටනය සමඟ ඔවුන් අතර උපායික මතභේද තිබියදීත් යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් එක්සත් ජනපදයට සහාය දක්වයි.

ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඊනියා “සටන් විරාමය” යනු නැවත සන්නද්ධ වීමට, නැවත ස්ථානගත කිරීමට සහ නව ආක්‍රමන සඳහා සූදානම් වීමට යොදා ගැනෙන, බිඳෙන සුලු, උපායික විරාමයකි. “සටන් විරාමය” ප්‍රකාශ කොට පැය කිහිපයක් ඇතුලත ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ වරුසාවක් හෙලීමෙන් සහ වොෂින්ටනය තවදුරටත් ප්‍රහාර සඳහා “නැව් පටවමින්” සිටින බවට සංඥා කිරීමෙන් එය ව්‍යාජයක් බව හෙලිදරව් විය. විරාමය කිසිවක් වෙනස් නොකරයි: අධිරාජ්‍යවාදී අරමුනු එ ලෙස ම පවතින අතර, පාලක ප්‍රභූන් මිලිටරි වාසිය තහවුරු කර ගැනීම සඳහා ඕනෑ ම නිහැඬියාවක් භාවිතා කරනු ඇත.

කම්කරුවන් යුද්ධයේ පිරිවැය ගෙවනු ඇත. විදේශයන්හි යුද්ධය වනාහි, රට තුල කප්පාදු, මිල ඉහල යාම සහ වැටුප් මත ප්‍රහාරයන් ය. ගැටුම හේතුවෙන් ඉන්ධන සහ ආහාර පිරිවැය ඉහල යාමෙන් ශ්‍රී ලාංකික කම්කරුවන් දැනටමත් පීඩා විඳින අතර, කඳුකර ජීවනෝපායන්ගේ කොඳු නාරටිය වන තේ කර්මාන්තය සහ අපනයන අංශ ක්ෂනික අවදානමකට ලක් ව ඇත.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, “මධ්‍යස්ථ” ලෙස පෙනී සිටිමින් “සංයමයක්” ඉල්ලා සිටිය ද, ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල ආක්‍රමනය හෙලා දැක නැත. ආන්ඩුව සහ සියලු ම ධනේශ්වර පක්ෂ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ පෙලගැසී සිටිති.

යුද යන්ත්‍රය නැවැත්වීමේ සමාජ බලය ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි. අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමේ සටන කම්කරු පන්තියේ ස්වාධීන, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් තුල මුල් බැස ගත යුතු බව සසප අවධාරනය කරයි.

හැටන් රැස්වීමේ දී අපි පහත කරුනු සාකච්ඡා කරන්නෙමු: එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරයේ සැබෑ අරමුනු; යුද්ධය සහ කප්පාදුව අතර සම්බන්ධය; ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂ සහ ව්‍යාජ වාම ප්‍රවනතා විසින් කම්කරුවන් නොමඟ යැවීමේ ලා ඉටුකරන කාර්යභාරය; සහ කම්කරු පන්තිය මත සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන සංයුක්ත පියවර.

දිනය: අප්‍රේල් 26 වන ඉරිදා

වේලාව: පෙ.ව. 10:30

ස්ථානය: හැටන් නගර ශාලාව

Loading