[මෙය Sri Lankan health workers protest budget cuts amid government threats මැයෙන් 2025 මාර්තු 21දා පල කල ලිපියේ පරිවර්තනය යි.]
හෙදහෙදියන් සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් ඇතුලු රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයින් 30,000ක් පමන මාර්තු 17 හා 18 දිනවල දෙදිනක ජාතික පරිමාන විරෝධතාවන්ට සහභාගි වූයේ, ආන්ඩුවේ අයවැය යෝජනා යටතේ ඔවුන්ගේ වෘත්තීය හිමිකම් කප්පාදු කිරීම්වලට විරෝධය පලකිරීමට ය.
මාර්තු 17දා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) පැය තුන-හමාරක වැඩ නැවැත්වීමක් කැඳවුම් කලේ ය. ඊට පසු දින, අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමන්ඩලයේ වෘත්තීය සමිති හතක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුනේ වෘත්තීය සමිති එකොලහක් උදෑන 7 සිට පැය 24ක වැඩ වර්ජනයක් කැඳවුම් කල හ.
හෙදහෙදියෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවෝ, ඊසීජී තාක්ෂනඥයෝ, විකිරනවේදියෝ, රසායනාගාර තාක්ෂනඥයෝ හා ඖෂධවේදියෝ මෙම ක්‍රියාවන්ට සහභාගි වූ හ.
ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ, අතිකාල හා නිවාඩු දින සේවාවන්ට කලින් කල ගෙවීම් යලි ලබාදෙනු යන්න යි. ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව 2025 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලින් එම දීමනා කප්පාදු කිරීමට යෝජනා කරනු ලැබිනි.
මීට පෙර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) මාර්තු 5දාට එක් දින සංකේත වැඩ වර්ජනයක් නිවේදනය කර තිබුනේ, වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදු කිරීම් ආපසු හරවන ලෙස ඉල්ලමිනි. විකිරනවේදී හා රසායනාගාර තාක්ෂනඥයින්, ඖෂධවේදීන්, හෙදහෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා කීට විද්‍යාඥයින් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (සෞවෘසස) මාර්තු 6 හා 7 දෙදින වැඩ වර්ජනයක් කැඳවා තිබුනි.
එහෙත්, සිය විරෝධතාවන් හකුලා ගැනීමට මෙම වෘත්තීය සමිති තීන්දු කලේ, සතියක් ඇතුලත භාන්ඩාගාර ලේකම් සමග ඔවුන්ගේ ප්‍රශ්න පිලිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවට, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස “ලිඛිත සහතිකයක්“ ලබාදුන් බව කියාපාමිනි.
හුදෙක් ම මෙම පොරොන්දු දෙන ලද්දේ, සෞඛ්‍ය සේවකයින්ගේ ක්‍රියාවන් මගින් අනෙකුත් කම්කරු කොටස්වල අරගල දිරිමත්වනු ඇතැයි යන භීතිය හේතුවෙනි. වසර තුනක් පුරා ඇදී යන පරිදි සොච්චම් වැටුප් වැඩිකිරීමක් ලබාදීම හේතුවෙන් අනෙකුත් රාජ්‍ය සේවකයන් අතර ද පුලුල් විරුද්ධත්වයක් වැඩෙමින් පවතී. පසු ගිය වසර තුන තුල ඔවුන්ගේ වැටුප්වල මූර්ත වටිනාකම් ඛාදනයට අලගු තැබීමට වත් මෙම වැටුප් වැඩිකිරීම් ප්‍රමානවත් නො වේ.
පොරොන්දු වූ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ අදාල සියලු නිලධාරීන් සහභාගි වී සිටිය ද “අයවැයෙන් ඇති කරන ලද අසාධාරනයන් සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රතිචාරයක්“ ලැබුනේ නැතැයි රහෙනිස නායක සමන් රත්නප්‍රිය මාර්තු 17දා පැවති මාධ්‍ය හමුවක දී කීවේ ය. ඔහු මෙසේ කීවේ ය: “කිසිවක් නො ලැබුනු නිසා, අපේ සැලසුම් කල ක්‍රියාවන් ඉදිරියට ගෙන යාමට අපට සිදු වෙනවා.“
රත්නප්‍රිය යනු, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපකීර්තිමත් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙහි නායකයෙකි. රත්නප්‍රිය ව සිය කම්කරු උපදේශකයා ලෙස සේවයේ යොදවා ගත් වික්‍රමසිංහගේ පාලනය සමයේ, ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු වැඩසටහනට සම්පූර්නයෙන් සහයෝගය දුන්නේ ය. අයවැය කප්පාදු කෙරෙහි රත්නප්‍රිය මවාපාන විරුද්ධත්වයෙහි එක ම ඉලක්කය වන්නේ, සෞඛ්‍ය සේවකයින්ගේ අතෘප්තිය නො මග යැවීම යි.
සෞවෘසස නායක රවී කුමුදේශ් ආන්ඩුවට සමාව දීමට උත්සාහ දැරුවේ ය. ඔහු මාධ්‍ය වෙත මෙසේ සඳහන් කලේ ය: “මේ දේවල්වලට වගකීම දරන්නේ මේ ආන්ඩුව විතරක් නෙවෙයි. රාජ්‍ය අංශයේ වැටුප් සූදානම් කිරීමේ දී රුපියල් බිලියන 3.2ක් පමනක් වෙන් කිරීමට ආන්ඩුව යොමු කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යි.“ ජාමූඅ සමග ප්‍රශ්නය සාකච්ඡා නො කර, ආන්ඩුව වැරදි මාර්ගයේ ගොස් ඇති බව ඔහු කීවේ ය.
අනෙකුත් වෘත්තීය සමිති යාන්ත්‍රනයන් මෙන් ම, කුමුදේශ් නායකත්වය දෙන සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති නිලධරයෝ ද ජාමූඅ වැඩසටහනට සම්පූර්නයෙන් පිටුබලය දෙමින් සිටිති. කම්කරුවන් අධෛර්යයට පත් කිරීමටත්, ඔවුන්ගේ කෝපය වාෂ්ප කිරීමටත්, ඔවුන් කම්කරු විරෝධතා අවම මට්ටමට සීමා කර ඇත.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) නායක හා ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහයෝගය දෙන බෞද්ධ භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මුනගැසුනි. “රාජ්‍ය අංශයෙහි ශ්‍රමබලකායේ සැලකිය යුතු කොටසක් වැටුප් වැඩිකිරීම් සාදරයෙන් පිලිගෙන ඇතැයි ඉස්මතු කර දක්වමින්, එම වැඩිකිරීම් කෙරෙහි ආනන්ද ස්තුතිය“ පල කල බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කලේ ය.
ඔහුගේ දෙඩවිලි සාදරයෙන් පිලිගත් දිසානායක, සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් අසාධාරන බව කීවේ ය.
ජාමූඅ සේවාදායක ජවිපෙ/ජාජබ පාලන තන්ත්‍රය ආරක්ෂා කරමින් රාසේඑහෙස නායකයා කල කියාපෑම් මුලුමනින් ම ව්‍යාජ ය. පෞද්ගලික අංශයේ මෙන් ම, රාජ්‍ය අංශයේ කම්කරුවන් අතර ද පලල් ව පැතිරුනු විරුද්ධත්වයක් පවතී. ඉහල වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා ද ඉහල වැඩබරට විරුද්ධ ව ද පසුගිය වසර දෙක පුරා කම්කරුවන් යලි යලිත් උද්ඝෝෂනය කර ඇත. කම්කරුවන්ගේ අරගල වලක්වන්නේ වෘත්තීය සමිති යාන්ත්‍රනය යි.
මාර්තු 18දා පාර්ලිමේන්තුවේ දී කතා කල සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, ආන්ඩුව සැලකිය යුතු වැටුප් වැඩිකිරීමක් කර ඇතැයි කියමින්, “දේශපාලනික ව අභිප්‍රේරිත වැඩ වර්ජන“ කැඳවීම ගැන වෘත්තීය සමිති නායකයන්ට චෝදනා කලේ ය.
සෞඛ්‍ය කම්කරුවන් විරුද්ධ ව මහජනයා ඇවිලවීමට උත්සාහ කරමින්, “ඔවුන් රෝගීන් ව ප්‍රාන ඇපයට ගෙන ඇතැ“ යි ජයතිස්ස ප්‍රකාශ කලේ ය. කම්කරුවන්ගේ අතිශය සාධාරන ක්‍රියාවන් හෙලාදැකීමේ දී, සෑම පාලන තන්ත්‍රයක ම මන්ත්‍රය වන්නේ මෙය යි.
සෞඛ්‍ය සේවකයින් එරෙහි ජවිපෙ/ජාජබ ආන්ඩුවේ තර්ජනය, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහි ප්‍රධාන කඩා පැනීමක් සඳහා ආන්ඩුව සූදානම් වෙමින් සිටින බවට වන අනතුරු ඇඟවීමකි.
ජාමූඅ වැඩපිලිවෙල යටතේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි මතට ආන්ඩුව එල්ල කරන ක්‍රමානුකූල ප්‍රහාරයට එරෙහි ව, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමට ධනපති-ගැති වෘත්තීය සමිති නිලධරයන් සපුරා විරුද්ධ වේ.
අයැවය කප්පාදු, කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාවන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර සහ වෘත්තීය සමිති නායකයන්ගේ ද්‍රෝහීත්වයට විරුද්ධත්වය පලකරමින්, සෞඛ්‍ය සේවකයින් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල හ.
බදුල්ල ශික්ෂන රෝහලේ දන්ත වෛද්‍ය අංශයේ හෙදියක් මෙසේ අදහස් දැක්වූවා ය: “මේ අවුරුද්දේ අයවැයෙන් කරන දීමනා කප්පාදුවට මම විරුද්ධ යි. ජීවන වියදමට ගැලපෙන වැටුප් වැඩිකිරීමක් අපි බලාපොරොත්තු වුනා. ඒත් අපේ වියදම් ආවරනය කරගැනීමට එවැනි වැඩිකිරීමක් වෙලා නැහැ. වැටුප් වැඩිකිරීම ජයග්‍රහනයක් ලෙස අපට ඒත්තු ගැන්වීමට ජවිපෙ වෘත්තීය සමිති නිලධරයන් අසාර්ථක ලෙස උත්සාහ කලා. ඒත්, අපේ ප්‍රධාන අරගලය ජීවත්වීමට යි, ඒකට විසඳුමක් නැහැ.“
වෘත්තීය සමිති කෙරෙහි ඇයගේ අතෘප්තිය පලකරමින්, තමන් කලින් රත්නප්‍රිය නායකත්වය දෙන වෘත්තීය සමිතියේ සාමාජිකාවක් වූ බව ඇය පැවසුවා ය. ඔහු වික්‍රමසිංහ ආන්ඩුවට එකතු වී හෙදියන්ගේ අරගල පාවාදුන් විට, “මම වෘත්තීය සමිතියෙන් අයින් වුනා. ඒ හේතුව නිසා ම බොහෝ සහෝදර සේවකයො වෘත්තීය සමිති හැර ගියා. මේ ආන්ඩුව, වෘත්තීය සමිති නිලධාරීන් අපේ අරගලවලට විරුද්ධ ව සිටින්නේ, අපට විරුද්ධ ව මහජනයා කුලප්පු කරමින්.“
“මම වැඩකරන අංශයේ විතරක් නෙවෙයි, අනෙක් අංශවලත් අධික වැඩබරක් දැරීමට අපට බල කෙරෙනවා. ඌව පලාතේ ජනගහනයේ තරම සලකනකොට මේක ප්‍රමානවත් නැහැ. දන්ත වෛද්‍ය ඒකකයට තියෙන්නේ සීමිත ධාරිතාවක්. අපට දවසකට ප්‍රතිකාර කරන්න පුලුවන් රෝගීන් 80කට විතර යි“ යි කාර්යය මන්ඩල හිඟය ගැන සඳහන් කරමින් ඇය කීවා ය.
ඖෂධ ඇතුලු වෛද්‍ය පහසුකම්වල දැඩි හිඟය ද ඇය විස්තර කලා ය.
ගාල්ලේ කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියක් මෙසේ කීවා ය: “අයැවයෙන් ආන්ඩුව කලේ ව්‍යාජ වැටුප් වැඩිකිරීමක්. ඇත්ත වසයෙන් ම සිද්ද වුනේ වැටුප් කැපීමක්. මේකට විරුද්ධ ව අපි විරෝධතාවක නිරත වුනා.“
කම්කරුවන් ශ්‍රේනිවාදී ව බෙදමින් වෘත්තීය සමිති ගනනාවක් පැවතීම ද, සාමාජිකයින් අධෛර්යයට පත්කරමින් වෘත්තීය සමිති නායකයන් කරන වැඩකටයුතු ද ඇයගේ විවේචනයට බඳුන් විය.
“ආන්ඩුවෙන් අපට විසඳුම් ලැබී නැහැ. වෘත්තීය සමිති මේ තත්ත්වයට ප්‍රතිචාර දක්වන්නේ නැති නම්, සමිතිවලින් ඉවත් වීම සඳහා අපි පොදු සන්ධානයක් හදනවා. මේ දේවල් සාකච්ඡා කර මාවතක් සොයා ගැනීම අපට අවශ්‍ය යි.“
මහනුවර ජාතික රෝහලේ උපස්ථායකයෙක් වන ප්‍රියන්ත මෙසේ අදහස් දැක්වී ය: “මාර්තු 17 හා 18 වැඩ වර්ජනයට, සැලකිය යුතු හෙදියන් හා අතුරු වෛද්‍ය සේවකයින් සංඛ්‍යාවක් සහභාගි වුනත්, කනිෂ්ඨ සේවක වෘත්තීය සමිති වර්ජනයට සහභාගි වුනේ නැහැ. අතුරු වෛද්‍ය වෘත්තීය සමිති ඔවුන්ගේ සාමාජිකයන්ට උපදෙස් දුන්නේ ගෙදරට වී සිටින ලෙස යි.'
“දැන් පෙනී යන්නේ, වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය ඇමතිගේ තර්ජනයෙන් පස්සේ යටත් වෙලා තිබෙන බව යි. ආන්ඩුව සමග සාකච්ඡා කරල කම්කරුවන්ට කිසි දෙයක් ජයග්‍රහනය කරන්න බැහැ කියන එක පැහැදිලි යි. සෞඛ්‍ය කම්කරුවන්ගේ දීමනා අඩුකිරීම ජාමූඅ වැඩසටහන යටතේ එන ප්‍රහාරයේ කොටසක්.
“කම්කරුවන් ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඒකාබද්ධ අරගලයක් සූදානම් කල යුතු යි, ඒත් ඒ සඳහා ඔවුන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සංවිධානය වීම අවශ්‍ය යි. මම සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු වන අතර, එවන් අරගලයක් බලමුලුගැන්වීම සදහා අපි සෞඛ්‍ය කම්කරුවන් අතර උද්ඝෝෂනය කරනවා.“